සිනමා විචාරකයෙකුට පහරදීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ, අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව, දෙපාර්ශ්වය අතර ඇති වූ සමථයකට යටත්ව නඩුවෙන් නිදහස් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. එහිදී මහේස්ත්‍රාත්වරයා හේමාල් රණසිංහ වෙත දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ චිත්‍රපටවල රඟපාන සටන් ජවනිකා සහ චරිත සැබෑ ජීවිතයේදී රඟපෑමට නීතියෙන් ඉඩක් නොමැති බවයි.
සිද්ධියේ පසුබිම
2026 ජනවාරි 8 වන දින හැව්ලොක් සිටි සිනමා සංකීර්ණයේ පැවැති “ෆාඩ්” (Faad) චිත්‍රපටයේ විශේෂ දර්ශනය නැරඹීමෙන් අනතුරුව මෙම සිදුවීම සිදුව ඇත. ප්‍රකට වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු සහ සිනමා විචාරකයෙකු වන ලක්මිණ රණසිංහ මහතා වෙත හේමාල් රණසිංහ විසින් පහර දී තර්ජනය කර ඇති බවට වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
මීට පෙර ප්‍රකාශයට පත් කරන ලද “මාරියා” (Maria) නමැති චිත්‍රපටයේ විචාරයකදී, හේමාල් රණසිංහගේ නම හෝ ඡායාරූපයක් සඳහන් නොකිරීම මුල් කරගෙන ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා විය. පහරදීමෙන් තුවාල ලැබූ ලක්මිණ රණසිංහ මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට මගහැර සිටි හේමාල් රණසිංහ මහතා, 2026 පෙබරවාරි 3 වන දින නීතිඥවරයෙකු මාර්ගයෙන් වැල්ලවත්ත පොලිසිය හමුවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරිණි.
සමථය සහ රුපියල් ලක්ෂ 5ක වන්දි මුදල
අධිකරණ නියෝගය පරිදි මෙම ආරවුල සමථ මණ්ඩලයට යොමු කෙරුණු අතර, එහිදී තමා අතින් සිදු වූ වරද පිළිගත් හේමාල් රණසිංහ, ලක්මිණ රණසිංහ මහතාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. එමෙන්ම, හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක (රු. 500,000) වන්දි මුදලක් ගෙවීමටද ඔහු එකඟ විය.
අගතියට පත් ලක්මිණ රණසිංහ මහතාගේ කැමැත්ත පරිදි මෙම වන්දි මුදල මහරගම අපේක්ෂා රෝහල (පිළිකා රෝහල) වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති අතර, ඊට අදාළ කසපත (Receipt) ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණයෙන් ලැබුණු අවවාදය
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, සමථයේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ අගතියට පත් පාර්ශ්වයට සමාජ මාධ්‍ය හරහා කිසිදු අපහාසයක් සිදු නොකිරීම බවයි. නමුත් නඩුව විභාග වන අතරතුර රංගන ශිල්පියාගේ හිතවතුන් සහ ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ විචාරකයාට අපහාස වන අන්දමේ සටහන් පළ කර තිබූ බව පැමිණිලි පාර්ශ්වය පෙන්වා දුන්නේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, චූදිතයාගේ ජනප්‍රියතාවය කුමක් වුවත් හික්මීම සහ නීතියට ගරු කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. “සිනමාවේදී හෝ නාට්‍යවලදී පෙන්වන සටන් ජවනිකා සැබෑ ජීවිතයේදී රඟපාන්න නීතියෙන් ඉඩක් නැහැ. එවැනි හැසිරීම් නැවත සිදු නොවන බවට වගබලා ගත යුතුයි” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා හේමාල් රණසිංහ වෙත දැඩි ලෙස අවවාද කරමින් නඩුව අවසන් කර ඔහුව මුදාහැරීමට නියෝග කළේය.
