මස්කෙළිය | විශේෂ වාර්තාකරුවෙකුගෙන්
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ වතුයායක සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, අවදානම් කලාපයේ පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මෙම තේ වත්තේ විශාල කොටසක් මෙලෙස නායගොස් ඇති අතර, නායයෑමත් සමඟ පස් සහ විශාල ගල් පර්වත කඩා වැටීමෙන් වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත. මෙම ගමනාගමන මාර්ග අවහිර වීම නිසා වතුයායට පිවිසීමට වෙනත් විකල්ප මාර්ගයක් නොමැති වීමෙන් එහි පදිංචි ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ අනතුරට ලක්වීමේ තර්ජනයට මුහුණ දී සිටින නිවාසවල පදිංචි පවුල් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලෙස වතු පාලනාධිකාරියට උපදෙස් ලබා දුන් බවයි. එමෙන්ම, නායයෑම සිදුවූ ස්ථානයේ ඉදිරි නිරීක්ෂණ සහ තාක්ෂණික පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දැනුවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.
